My Blog List

Monday 26 March 2018

පෙමක් පහදනු නොමදනී



අදුරු මීදුම් පටල විනිවිද දකින එලියෙන් මත්වෙලා
කොදුර කොදුරා රහස් මුමුණයි සවන් යුග කුල්මත් වෙලා
සොදුරු හීනෙක පාට සිතුවම් නුවන් යුග මන්මත් කලා 
ඉදුරු පිනවන ප්‍රේමයද මේ සබද පවසනු පහදලා

ඈත දිදුලන පහන වෙත යයි නොමදිලේවිද නොමහැගී
මෑත සවනත ඇසෙන කෙදිරුම අසල ගැවසෙයි ලුහුබදී
ගීත සිහිනය මැවෙයි නිබදව පියවි නෙතු අවැසිම නොවී 
දූත කම් තව අවැසි නොමනෙද පෙමක් පහදනු නොමදනී

පොකුරු වැහි ගේ "ප්‍රේමයෙන් බැදීම යනු...." කියවා ලියවුනු පිළිතුරු කවක්....

Monday 12 March 2018

පපා බෝයි සහ ගිටාරය





මනොකල්පිත සෝෆාවේ කලින්  පොස්ටුව ඔබ කියවන්නට ඇතැයි සිතමි.මම එසේ ඇලවී මනෝ ගසා සිටියදී තවෙකෙක් මා හා සමගාමීව අනෙත් සෝෆාවේ උඩබලන් උන්නේය. ඌ නමින් පපාය, පපාගේ මිතුරාගමනය මගේ ජීවිතයේ තවත් වින්දනීයම හැඩතලයක් මැවු හමුවීමක්ම විය. දිනක් මස්කට් හි දේශාගේ ගෙදර සාදයකදී මා අහම්බෙන් ඔහු හදුනාගනිද්දී  “අපි හැගුම් වලට ඉඩදී මොහොතක්" ගිටාරය වයමින් ගයමින් සිටියේය. නෙල්ලි කවදත් සොමියට බරය හෙමිහිට ඔහුට කිට්ටු වී ටෝකක් දැම්මෙමි,  “ඕයි පපා බෝයි මටත් පුරුදු කරනවකො ගිටාර් ගහන්න හැබැයි නිකන් බෑ හරි උබ මට උගන්නනවට මම ගෙවනව” පපාගේ කිසිම අටුවා ටීකාවක්වත් එතකුදු මම නොදැන සිටියෙමි දැන සිටි එකම කරුණ මා මෙන්ම ඌද ශාකභක්ෂක බව පමණි. එකපයින් ඌත් වැඩේට කැමති විය.

මේ පොස්ටුව ලියන්නේ සහේතුකවමය.පිටතින් බලා මිනිසුන්ට චරිත සහතික දෙන්නට අපි උපන් හපන්කම් දක්වන්නෝය. සමහරු ඔවුනොවුන්ගෙ මනසට ඕපපාතිකව පතිත වන කල්පිත දත්ත ප්‍රකාශිත බවට පත් කරන්නේ අදාල පුද්ගලයාගේ මාපිය දෙපලටත් වඩා එහාගිය දැනමුතුකම් ඇති දුටු පමණින් සියලු සකලාංග කාරණා පෙරකියවිය හැකි ඉර්‍ශිවරුන්ටත් වඩා එහා ගිය අමුතුම ලයින් එකකින්ය.නෙල්ලිගේ ලයින් එක එතරම්ම බැරෑරුම් නොවුනත් පපා ගැන මා සිතා සිටියේ වෙනස්ම අයුරකින්ය. ඕමාන් දේශයේ සුලු රැකියාවන්හි නිරතවන්නෙක් වන ඔහු අමතර අදායම් මාර්ගයකට සප්තස්වරය කියාදෙන්නට උත්සුක වූයේයැයි සිතීමි.උගේ වාහනයෙන්ම මගේ නිවසට ගිටාරයද රැගෙන පැමිණෙන්නේ සිය බිරිද සාදා දුන් තේක ඌටම ආවේණික වූ Mug එකක දමාගෙනය. කාලය කෙමෙන් ගතවෙද්දී අපි සුහද මිතුරන් වූයෙමු. ගිටාර් එකකට පයින්වත් ගසා ගැනිමට නොහැකිව සිටි නෙල්ලිට පපා ගුරා නිසා යම්තාක් දුරට වැයීම කල හැක, තවත් ප්‍රගුණ කල යුතුය.  



මගේ මනසින් උපකල්පිත පපාට වඩා සබෑ මිනිසා සැබවින්ම වෙනස් සොදුරු එකෙකි හුදෙක්ම ආත්ම තෘප්තිය සදහා තත් ස්වර නාදය ඇගිලි තුඩින් ඇගිලි තුඩට හුරුකරන ඔහු අද වන තුරු සත පහකවත් අමතර ගස්තුවක් මගෙන් ලබා නැත. සුලු රැකියා කරන්නෙකුයයි මා සිතා සිටි පපා ඕමාන් නිරුදක කතරේ සංචාරකයින් සදහා Desert Camping සංවිධානය කරන ආයතනයක ප්‍රධාන නියාමක තනතුරක් දරන්නේය .කාර්යාලීය මෙහෙකරුවන් වන අප පරිඝණකයේ ඇලී ප්‍රින්ටරයේ වෙලී A4 වල ගැලී හිසට ගිනිතාබගෙන දවස ගෙවද්දී ඈත කතරක නිහඩ අදුරක ගල් ගැහෙන සීතක අටවාගත් Camp එකක් අසල  ගිනිමැලයකට ගුලිවෙමින් ගිටාරය වයමින් ලබන නිස්කලංක සැප ඔහු අසලදී නෙල්ලිව සුලු සේවකයෙක් කලේ නිතැතිනි.පපා හදපිරි සතුට ලබන අතරතුර මා ආත්ම ලැජ්ජාව තම යටි සිත තුලම සගවාගත්තෙමි ඒ හරිහැටි නොදැන ස්වලොකයන්හි මවාගත් නේකවිධි මනස්ගාත, පුද්ගලාදේශ කල නිසාවෙනි.එසේනමුත් වෙන කිසිවෙකුට නොකියා උපන් සිත තුලම වැරදි ආකල්ප නිදොස්කර supersede කරගැනුමට හැකිවීම සතුටකි.



මා මෙ ලිව්වේ ඉතාම සරල උදහරණයකි දිවියේ අත්විදි අත්දැකීමකි. එදිනෙදා දිවියේ මුනගැහෙන දත් නොදත් ,නෑදෑ නොනෑදෑ ,අම මිතුරු නොම මිතුරු එකී නොකී සියලු පුද්ගලයන් සදහා දුටු පමණින් නීර්ණය කොට හරිහැටි නොදැන  කොතරම්නම් ව්‍යාජ දත්ත අපවිසින් සිත තුල තැන්පත්කරගන්නවා ඇතිද එතනින් නොනැවතී සමාජ සිරස්තල කරනවා ඇතිද,................. 

පපා සමහරවිට මගෙ පොස්ටුවට එබුනහොත් “හා හා හා එහෙමද හු%$# මන් ගැන හිතන් හිටියෙ අසනු නොඅනුමනය මමත් ඔව් ප%$# කියා සිනාසෙමි එය මිතුරුදම තවත් හැඩකරනු ඇත. කිරිල්ලියටනම් මේ භාෂාව හිරිකිතය නමුදු කුණුහරුපයක ඇති ලෙන්ගතුකමේ රසය පිරිමි සවනකට හැර දැනෙන්නේ අන් කුමකටද.